රජය සිදුකරන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය අගය කරනවා - අයි.එම්.එෆ්.

රජය සිදුකරන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය අගය කරනවා - අයි.එම්.එෆ්.

Published on September 30, 2025, 05:39 PM

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් මණ්ඩල ප්‍රධානී, Evan Papageorgiou මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

එහිදී රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය ඔහුගේ ඇගයීමට ලක් වූ අතර, විශේෂයෙන්ම පාලනය ශක්තිමත් කිරීමට සහ දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ඔහු ප්‍රශංසා පළ කළේය. බදු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවල වැදගත්කම, බදු නිදහස් කිරීම් (tax exemptions) සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව ද ඔහු සිය අවධානය යොමු කළේය. එසේම, 2026 ජාතික අයවැයෙන් සමාජ ආරක්ෂණ පද්ධතිය සඳහා සම්පත් වෙන් කිරීම ද පැපජෝර්ජියු මහතාගේ ඇගයුමට ලක් විය.

2026 අයවැයෙන් ජනතාව සවිබල ගැන්වීමට පියවර ගැනීමේ වැදගත්කම මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

ආර්ථික ප්‍රගතිය ජනතාවගේ අවශ්‍යතාවලට අනුකූල විය යුතු බවත්, ගුණාත්මක ආයෝජන ආකර්ෂණය කර ගැනීම රජයේ ප්‍රමුඛතාවක් බවත් අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය. සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවත්, දිගුකාලීන තිරසාරභාවය සහතික කිරීම සඳහා ආර්ථික වශයෙන් අවදානමට ලක් වූ කණ්ඩායම් සවිබල ගැන්වීම අවශ්‍ය බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

ඉදිරි ජාතික අයවැය තුළින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) ක්ෂේත්‍රය හරහා ග්‍රාමීය ආර්ථික සහභාගීත්වය ඉහළ නැංවීම, ඩිජිටල්කරණය කඩිනම් කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය ඉදිරියට ගෙන යාම, සංචාරක ක්ෂේත්‍රයේ ගුණාත්මක දියුණුව පෝෂණය කිරීම, සහ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම යන පියවර කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බවද අග්‍රාමාත්‍ය ආචිර්ය හරිනි අමරසූරිය මෙහිදී පෙන්වා දුන්නාය.

මෙම අවස්ථාවට IMF නිත්‍ය නියෝජිත මාර්තා වොල්ඩෙමයිකල් (Ms. Martha Woldemichael), නිත්‍ය නියෝජිත කාර්යාලයේ ආර්ථික විද්‍යාඥ මානවී අබේවික්‍රම (Ms. Manavee Abeyawickrama), අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත ප්‍රමුඛ නිලධාරීහු මෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය සී. අමරසේකර, විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී. කේ. ජී. හාරිෂ්චන්ද්‍ර, ආර්ථික පර්යේෂණ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය එල්. ආර්. සී. පත්බේරිය, ආර්ථික පර්යේෂණ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය වී. ඩී. වික්‍රමආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post