
Published on July 31, 2026, 05:43 PM
වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය ගරු අනුර කරුණාතිලක මහතා ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතියේ සංවර්ධන කටයුතු සහ නව නල පද්ධතියක් ස්ථාපිත කිරීමේ ප්‍රගතිය සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් මේ වන විට තෙල් ටැංකි දෙකක් ප්‍රතිසංස්කරණය කර අවසන් කර ඇති අතර, තවත් තෙල් ටැංකි තුනක් අලුත්වැඩියා කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇත. එමෙන්ම ත්‍රිකුණාමලය වරායට පැමිණෙන විශාල නෞකා මඟින් ගෙන එන ඉන්ධන සෘජුවම තෙල් ටැංකි වෙත ප්‍රවාහනය කිරීම සඳහා නව නල පද්ධතියක් ස්ථාපිත කිරීමේ මූලික කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබේ.
මෙම නල පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ආයතනික එකඟතා ලබා ගැනීමේ අරමුණින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර, ඊට සහභාගි වූ සියලු පාර්ශ්ව ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා සිය එකඟතාවය සහ සහායෝගය පළ කළහ.
තෙල් ටැංකි 99කින් සමන්විත ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගබඩා සංකීර්ණයේ තෙල් ටැංකි 61ක් Trincomalee Petroleum Terminal Ltd නැමැති ලාංකීය හා ඉන්දියානු ඒකාබද්ධ සමාගම සතුවන අතර, ටැංකි 24 ලංකා ඛණිජ තෙල් සංස්ථාවටද තෙල් ටැංකි 14ක් ඉන්දියානු ඔයිල් සමාගම සතුය. මෙම තෙල් ටැංකි සංකීර්ණය හා නල පද්ධති තුලින් ගබඩා ධාරිතාව ඉහළ නැංවීම, රටේ බලශක්ති සුරක්ෂිතාව තහවුරු කිරීම හා ත්‍රිකුණාමලය කලාපීය ඉන්ධන ගබඩා හා බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම යන ප්‍රධාන අරමුනු ඉටුකරගැනීමට අපේක්ෂිතය.
තවද අමාත්‍යවරයා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කේ. රාඝු මහතා ඇතුළු නියෝජිතයන්ද අමාත්‍යවරයා හමු වී සාකච්ඡා කළ අතර, එහිදී තෙල් ටැංකි පද්ධතියේ ඉදිරි සංවර්ධන සැලසුම්, ඉන්ධන ගබඩා කිරීමේ ධාරිතාව වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකාව කලාපීය බලශක්ති හා ඉන්ධන බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා දෙපාර්ශ්වීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.