ජූලි මාසයේ විදේශ රැකියා සඳහා පිටත්වීම් සියයට 4.84 න් ඉහළට

ජූලි මාසයේ විදේශ රැකියා සඳහා පිටත්වීම් සියයට 4.84 න් ඉහළට

Published on August 04, 2026, 02:34 AM

මෙම වසරේ ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී ශ්‍රි ලාංකිකයින් විදේශ රැකියා සඳහා පිටත්වීම් 4.84%න් ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව ලාංකිකයින් 25,622 ක පිරිසක් 2026 වසරේ ජූලි මාසයේදී රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර, එය මේ වසර තුළදී එක් මසකදී වාර්තා වුණු ඉහළම ප්‍රමාණයයි. මෙම වසරේ ජූනි මාසයේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය 24,440 කි.

මේ අතර, ශ්‍රි ලංකා රජය, ඊශ්‍රායලය, දකුණු කොරියාව හා ජපානය යන රටවල් සමග ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම් අනුව ශ්‍රි ලාංකිකයින් විදේශ රැකියා සඳහා යොමුවීමේ ඉහළ උනන්දුවක් මෙම වසරේදී පෙන්නුම් කරන අතර, ඒ අනුව ඊශ්‍රායල් රැකියා සඳහා 2521 දෙනෙකුද, දකුණු කොරියාවේ රැකියා සඳහා 1618 දෙනෙකු හා ජපානයේ රැකියා සඳහා 79 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.

ජපානයේ රැකියා හිමිවූ තරුණ තරුණියන් 14 දෙනෙකු සඳහා ඊයේ දින (2026.08.03) කාර්යාංශයේදී ගුවන් ටිකට්පත් පිරිනැමූ අතර, මෙම පිරිසට ජපානයේ නිශ්පාදන, ඉදිකිරීම්, සාත්තු සේවා හා කෘෂිකාර්මික ක්ෂේත්‍රවල රැකියා අවස්ථා හිමිවී තිබේ.

මෙරටට ආර්ථිකයට වැඩිම ආදායමක් හිමිවන්නේ විදේශ ගත ශ්‍රමිකයින් ප්‍රේෂණය කරනු ලබන මුදල් වලින් වන අතර, මෙම වසරේ ජනවාරි සිට ජූනි දක්වා මාස 6ක කාලය තුළදී විදේශ ගත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් විසින් ඇමරිකානු ඩොලර් බිලියන 4.6 ක මුදලක් මෙරටට ප්‍රේෂණය කර ඇත. ජූලි මාසය තුළ මෙරටට හිමිවූ ප්‍රේෂණ ප්‍රමාණය ශ්‍රි ලංකා මහ බැංකුව විසින් මෙතෙක් ගණනය කර නොමැති අතර, පසුගිය මාසයන්හි හිමිවූ ප්‍රේෂණ ප්‍රමාණය සැලකීමේදී ජූලි මාසය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 540-570 ත් අතර ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි පුරෝකථනය කළ හැකිය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post