වැස්ස නැතිව ගලෙන්ඳුනවැව ජනතාව පීඩාවට

වැස්ස නැතිව ගලෙන්ඳුනවැව ජනතාව පීඩාවට

Published on July 31, 2026, 07:23 PM

ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුරුළුවැව සහ මනන්කට්ටිය ඇතුළු මහා වැව් මෙන්ම කුඩා වැව් ගණනාවකම ජල මට්ටම මේ වන විට ශීඝ්‍රයෙන් පහත බැසීම හේතුවෙන් ප්‍රදේශයේ ජන ජීවිතය, කෘෂිකර්මාන්තය මෙන්ම සත්ව පාලන කටයුතු ද දැඩි අර්බුදයකට ලක්ව තිබේ.

​මාස කිහිපයක සිට ප්‍රදේශයට නිසි පරිදි වර්ෂාව නොලැබීම සහ මේ දිනවල පවතින අධික වියළි සුළං සහිත කාලගුණික තත්ත්වය මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. ජල මූලාශ්‍ර සිඳී යාම නිසා වගාවන් සඳහා ජලය සපයා ගැනීමට නොහැකිව ප්‍රදේශයේ ගොවි ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටින අතර, ඉදිරි කාලයේදී වෙළෙඳපොළ තුළ එළවළු සහ පලතුරු දැඩි හිඟයක් මතුවීමේ අවදානමක් ද පවතී.

​එමෙන්ම, පානීය ජලය සහ තණකොළ ඇතුළු සතුන්ගේ ආහාර සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ප්‍රදේශයේ ගව පාලනය ඇතුළු සත්ව පාලන කටයුතුවල නිරත ජනතාව ද දැඩි අසීරුතාවකට මුහුණ දී සිටිති.

​අද (31) උදෑසන 8.00 වන විට වාර්තා වූ පරිදි ප්‍රදේශයේ ප්‍රධාන වැව් කිහිපයක ජල මට්ටම් පහත පරිදි වේ:

​හුරුළුවැව: අක්කර අඩි 55,000 ක පූර්ණ ජල ධාරිතාවකින් යුතු හුරුළුවැවේ පූර්ණ ජල මට්ටමේ ගැඹුර අඩි 27.50 කි. නමුත් මේ වන විට එහි පවතින්නේ අඩි 12.95 ක ජල මට්ටමක් වන අතර, දැනට පවතින සක්‍රීය ජල ධාරිතාව අක්කර අඩි 16,430.00 දක්වා පහත වැටී තිබේ. ජල මට්ටම අඩුවීමත් සමඟම හුරුළුවැවේ වම් ඇළ සහ දකුණු ඇළ ප්‍රධාන මාර්ග දෙකම මේ වන විට වසා දමා ඇත.

​මනන්කට්ටිය වැව: අක්කර අඩි 4,879.39 ක පූර්ණ ජල ධාරිතාවකින් යුතු මනන්කට්ටිය වැවේ පූර්ණ ජල මට්ටම අඩි 18 යි අඟල් 01 කි. එහෙත් මේ වන විට එහි ජල මට්ටම අඩි 06 යි අඟල් 11 දක්වා අඩුවී ඇති අතර දැනට පවතින ජල ධාරිතාව අක්කර අඩි 792.92 කි. එහි වාන් දොරටු 04 ම මේ වන විට වසා තබා ඇත.

​දීර්ඝ කාලයක් තිස්සේ පවතින මෙම වියළි කාලගුණය, සුළං තත්ත්වය සහ පානීය, වගා මෙන්ම සත්ව පාලනයට අවශ්‍ය ජල හිඟය හේතුවෙන් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ සමස්ත ජන ජීවිතයම අඩපණ වී ඇති අතර, නොබෝ දිනකින් වර්ෂාව නොලැබුණහොත් විශාල කෘෂිකාර්මික, සත්ව පාලන හා පානීය ජල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවට ප්‍රදේශවාසීහු සහ ගොවීහු භීතිය පළ කරති.

ගලෙන්බිදුණුවැව - චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post