
Published on July 31, 2026, 08:22 PM
දස වසරක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් අඛණ්ඩ කැපවීමෙන්, කාර්යක්ෂමතාවයෙන් සහ මානුෂීයත්වයෙන් ඉටු කළ සුවිශේෂී මෙහෙවර අගයමින් 1990 සුවසැරිය පදනමේ දස වසරක අභිමානවත් සේවා සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, සුවසැරිය පදනමේ නිර්මාතෘ ආචාර්ය හර්ෂද සිල්වා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (31) පෙරවරුවේ කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඉන්දියානු රජය හා ජනතාවගේ පරිත්‍යාගශීලී දායකත්වයෙන් 2016 ජූලි 28 වැනි දින ගිලන් රථ 88කින් ආරම්භ වූ 1990 සුව සැරිය ගිලන් රථ සේවය, නොමිලේ පූර්ව රෝහල් හදිසි ප්‍රතිචාර සේවාවක් ලෙස මෙරට සෞඛ්‍ය සේවාවේ නව පරිච්ඡේදයක් ආරම්භ කළේය. අද වන විට ගිලන් රථ 319කින් සමන්විත ජාතික හදිසි ප්‍රතිචාර සේවාවක් ලෙස එය දිවයින පුරා ජනතාවගේ විශ්වාසය දිනාගෙන තිබේ.
පසුගිය දස වසර තුළ 1990 සුව සැරිය කාර්ය මණ්ඩලය මිලියන 10කට අධික හදිසි දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වමින්, මිලියන 2.6කට අධික හදිසි අවස්ථාවන්හිදී රෝගීන් වෙත කඩිනම් ජීවිතාරක්ෂක සේවාව ලබාදී ඇත. පැය 24 පුරා, සතියේ දින හතම, වසර පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම සේවාව, හදිසි ප්‍රතිකාර අවශ්‍ය ජනතාවට බලාපොරොත්තුවේ පළමු නැවතුම බවට පත්ව ඇත.
මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවය කරන සෑම පුද්ගලයෙකුටම තවත් මිනිසෙකුගේ ජීවිතයක් සුරක්ෂිත කිරීමේ අවස්ථාව හිමිවන නමුත්, 1990 සුවසැරිය කණ්ඩායමට එම අවස්ථාව හිමිවන්නේ ජීවිතයක් අවදානමකට ලක්ව ඇති අතිශය තීරණාත්මක මොහොතකදී කඩිනමින් මැදිහත්ව එම ජීවිතය බේරා ගැනීමේ වගකීමක් සමඟ බව පැවසීය.
වසර දහයක් පුරා 1990 සුවසැරිය සේවාව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ඉතිහාසය තුළ සුවිශේෂී පරිච්ඡේදයක් සනිටුහන් කර ඇති බවත්, දුරකථන ඇමතුමකින් ආරම්භ වන එම සේවාවේ සෑම මැදිහත්වීමක්ම මනුෂ්‍ය ජීවිතයක් ආරක්ෂා කිරීමේ උතුම් මෙහෙවරක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
2016 වසරේදී මෙම සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා කැපවී කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ඇතුළු ඒ සඳහා දායක වූ සියලු දේශපාලන නියෝජිතයන්ටත්, විවිධ අභියෝග හමුවේ මෙම සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දායක වූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන්ටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන් ඇතුළු සියලු නිලධාරීන්ටත් ජාතියේ ගෞරවය හිමිවිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මේ වනවිට ක්‍රියාත්මක වන සුවසැරිය ගිලන්රථ 319ට අමතරව තවත් ගිලන්රථ 100ක් ලබාදීමට ඉන්දියානු රජය කටයුතු කරමින් සිටින අතර, එම වැඩපිළිවෙළ මේ වනවිට අවසන් අදියරේ පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එම ගිලන්රථ මෙම වසර අවසන් වීමට පෙර සුවසැරිය සේවාවට එක් කිරීමට අපේක්ෂා කරන බවත්, ටාටා පදනමේ සහයෝගයෙන් තවත් ගිලන්රථ 50ක් ලබාගැනීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව ඉදිරියේදී 1990 සුවසැරිය ගිලන්රථ බලඇණිය ගිලන්රථ 470ක් දක්වා පුළුල් කිරීමට හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම අඛණ්ඩ සහයෝගය ලබාදෙන ඉන්දියානු රජයට, ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාට, ඉන්දියානු ජනතාවට, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා ඇතුළු මහ කොමසාරිස් කාර්යාලයේ සියලු නිලධාරීන්ට ශ්‍රී ලංකාවේ ගෞරවය හා ස්තුතිය පළ කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙහි දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ, නව දේශපාලන සංස්කෘතියක් ලෙස යහපත් වැඩපිළිවෙළක් ආරම්භ කළ පසු එය කවුරුන් විසින් ආරම්භ කළේද යන්න මත නතර කිරීමට හෝ වෙනස් කිරීමට අවශ්‍ය නොවන බවයි. සුවසැරිය ගිලන් රථ සේවාව එයට කදිම උදාහරණයක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පාලන සමයේදී ආරම්භ කරන ලද මෙම ජනතා හිතවාදී සේවාව, ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලන සමයන් තුළදී අඛණ්ඩව සංවර්ධනය වෙමින් ජනතාවට වඩාත් පුළුල් සේවාවක් ලබාදෙන තත්ත්වයට පත්ව ඇති බවද හෙතෙම සඳහන් කළේය.
සුවසැරිය සේවාවේ දස වසරක සැමරුම් උත්සවයට තමන් වෙත ආරාධනා කිරීම සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, මෙම සේවාව අතිශය අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් පසුකරමින් වර්තමානය දක්වා පැමිණ ඇති බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙහිදී අදහස් දක්වමින් 1990 ශ්‍රී ලංකා සුවසැරිය හදිසි ගිලන් රථ සේවාවේ දසවැනි සංවත්සරය සැමරීමේ අවස්ථාවට එක්වීමට ලැබීම තමන්ට මහත් සතුටක් හා ගෞරවයක් බවයි.
සෞඛ්‍ය ක්ෂේත්‍රය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රමුඛ ක්ෂේත්‍රයක් බවත්, ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය යටිතල පහසුකම් සහ සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව වසර ගණනාවක් පුරා අඛණ්ඩ සහයෝගයක් ලබා දී ඇති බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා පැවසීය.
සුවසැරිය පදනම වෙනුවෙන් ඉදිරියටත් අවශ්‍ය සහයෝගය ලබා දීමට ඉන්දියානු රජය සහ ජනතාව කටයුතු කරන බවද සන්තෝෂ් ජා මහතා මෙහි දි වැඩිදුරටත් සඳහන් කළේය.