කොරියා රැකියා කෝටාව ගැන සාකච්ඡාවක්

කොරියා රැකියා කෝටාව ගැන සාකච්ඡාවක්

Published on February 25, 2026, 04:26 PM

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා මේ දිනවල දකුණු කොරියාවේ විශේෂ සංචාරයක නිරත වන අතර, එම සංචාරය අතරවාරයේදී නියෝජ්‍ය අමාත්‍යවරයා කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ (HRDK) නිලධාරීන් දකුණු කොරියාවේ සොල් නුවරදී ඊයේ (24) හමුවිය.

මෙම සාකච්ඡාවේදී EPS (Employment Permit System) ක්‍රමවේදය යටතේ ශ්‍රි ලංකා–කොරියා රැකියා හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම, කොරියානු රැකියා බලපත්‍ර ක්‍රමවේදයට ශ්‍රි ලංකාවේ සහභාගීත්වය වැඩිදියුණු කිරීම සහ පවතින රාමුවෙන් ඔබ්බට සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.

එසේම, කොරියානු රැකියා සඳහා වෙන් කරන කෝටා ප්‍රමාණය, පොරොත්තු ලේඛන ගැටළු, ක්‍රියාවලියේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම පිළිබඳවද සාකච්ඡා විය. කොරියානු භාෂා නිපුණතාවය ශක්තිමත් කිරීම, සේවා ස්ථාන විනය වර්ධනය කිරීම, රැකියා සඳහා පිටත්වීමට පෙර දිශානති සහ තාක්ෂණික පුහුණුව වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කළ බව නියෝජ්‍ය  අමාත්‍යවරයා සඳහන් කළේය.

කුසලතා සංවර්ධනය සඳහා ගැඹුරු ආයතනික හවුල්කාරිත්වයන් ස්ථාපිත කිරීම, ශ්‍රි ලංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීම සහ ගෝලීය අපේක්ෂාවන්ට සරිලන විශ්වසනීය හා වෘත්තීය ශ්‍රම බලකායක් ගොඩනැගීමට ශ්‍රි ලංකාව කැපවී සිටින බවද අමාත්‍යවරයා කොරියානු නිලධාරීන්ට අවධාරණය කළේය.

කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ විදේශ ශ්‍රම සහ ගෝලීය රැකියා සඳහා උප සභාපති ලිම් සියුං මූක් (Lim Seung Mook) මහතා ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post