අකාල වැස්සෙන් ගලෙන්බිදුණුවැව බඩඉරිඟු වගාවට මරු පහරක්

අකාල වැස්සෙන් ගලෙන්බිදුණුවැව බඩඉරිඟු වගාවට මරු පහරක්

Published on February 26, 2026, 12:26 PM

ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ මෙවර මහ කන්නයේ බඩඉරිඟු වගා කළ ගොවීන් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටිති. වගා ආරම්භයේ සිටම විවිධ ස්වභාවික උපද්‍රවයන්ට මුහුණ දීමට සිදු වූ බවත්, මේ වන විට නෙළමින් පවතින අස්වැන්න පවා වර්ෂාවට හසුව විනාශ වෙමින් පවතින බවත් ගොවීහු මැසිවිලි නගති.

පසුගියදා බලපෑ ‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් වගාබිම් සැලකිය යුතු ප්‍රමාණයක් විනාශ වූ බව ගොවීන් පෙන්වා දෙයි. එමෙන්ම, වගාවට අත්‍යවශ්‍ය අවස්ථාවලදී යොදන ලද පොහොර ද අධික වර්ෂාවට සේදී යාම හේතුවෙන් බඩඉරිඟු ගස්වල වර්ධනය බාල වී අස්වැන්න බෙහෙවින් අඩු වී තිබේ. නිසි කලට පොහොර අවශෝෂණය කර ගැනීමට වගාවට නොහැකි වීම මෙම අස්වනු පාලුවට ප්‍රධාන හේතුවක් වී ඇත.

පසුගිය දින කිහිපය පුරා ඇද හැලුණු නොකඩවා වර්ෂාව හේතුවෙන් මේ වන විට නෙළමින් පවතින අස්වැන්න වියළා ගැනීමට නොහැකිව ගොවීහු අසරණ වී සිටිති. තෙතමනය අධික වීම නිසා බඩඉරිඟු කරල් නරක් වීම සහ ගුණාත්මකභාවයෙන් තොර වීම හේතුවෙන් තම අස්වැන්න සඳහා නිසි වෙළඳපොළ මිලක් ලබා ගැනීමට නොහැකි වී ඇති බව ඔවුහු පවසති.

මේ පිළිබඳව අදහස් දැක්වූ එච්.එම්. ගුණපාල මහතා පැවසුවේ, "අපි මේ වගාව පටන් ගත්තේ බොහොම බලාපොරොත්තු ඇතිව. දිට්වා සුළි කුණාටුව ආපු වෙලාවේ ගස් ටික වැටුණා. ඊට පස්සේ කරල් හැදෙන කාලේ දාපු පොහොර ටික වැස්සට හේදිලා ගියා. දැන් අස්වැන්න නෙළන වෙලාවෙත් වැස්ස නතර වෙන්නේ නැහැ. කරල් ටික ගලවලා ගොඩ ගැහුවාම තෙතමනය නිසා ඒවාවල පුස් අල්ලනවා. වෙළෙන්දෝ එන්නේ නැහැ, ආවත් කුණු කොල්ලයට අහන්නේ. මේවා විකුණලා අපි කොහොමද ගත්ත ණය බේරන්නේ?" යනුවෙනි.

ගොවීන් පවසන්නේ තම අතමිට රැඳි රන් ආභරණ උකසට තබා සහ බැංකු මගින් ලබාගත් ණය මුදල් යොදවමින් මෙම වගා කටයුතු සිදු කළ බවයි. අස්වනු හානිය මෙන්ම පවතින අඩු මිල හමුවේ ලබාගත් ණය පියවා ගැනීමට පවා නොහැකිව තමන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව ඔවුහු පවසති.

කඳුළු පිරි දෑසින් යුතුව කේ. පියසීලි මහත්මිය පැවසුවේ, "මම මගේ බෙල්ලේ තිබුණ මාලය උකසට තියලයි බීජයි පොහොරයි ගත්තේ. දැන් අස්වැන්න විකුණා ගන්න විදිහක් නැහැ. කරල් ටික වියළා ගන්න එක ඉර පායන්නේ නැහැ. බඩඉරිඟු ගස් පිටින්ම කුණු වෙලා යනවා දැක්කාම දරාගන්න බැහැ. රජය මැදිහත් වෙලා අපිට සහනයක් දෙන්නේ නැත්නම් අපිට වස බොන්නයි වෙන්නේ." යනුවෙනි.

පවතින අයහපත් කාලගුණයත් සමඟ ගබඩා පහසුකම් නොමැති වීම ගොවීන්ට තවත් විශාල බරකි. තරුණ ගොවියෙකු වන ආර්. බණ්ඩාර මහතා පවසන්නේ, බැංකු ණය වාරික ගෙවීමට කාලය පැමිණ ඇතත්, අතේ සතයක් නොමැති තත්ත්වයක් උදාවී ඇති බවයි. අවම වශයෙන් රජය මැදිහත් වී අස්වැන්න ගබඩා කිරීමට හෝ සහන මිලක් ලබාදීමට කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කරයි.

ගලෙන්බිදුණුවැව ගොවි ජනතාව මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු විය යුතු බව පවසන අතර, තමන් පත්ව ඇති මෙම දැඩි ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වන්දි ක්‍රමවේදයක් හෝ සහනදායී මැදිහත් වීමක් රජයෙන් බලාපොරොත්තු වෙති.

ගලෙන්බිදුණුවැව - චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post