
Published on August 06, 2026, 06:41 PM
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC. සමාගම අතර ශ්‍රී ලාංකික සුදුසුකම්ලත් වෘත්තිකයන් ජපානයේ රැකියා සඳහා බඳවා ගැනීම හා යොමු කිරීම ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීම පසුගියදා සිදු විය.
මෙම අවබෝධතා ගිවිසුම මඟින් ශ්‍රී ලංකාව සහ ජපානය යන දෙරටේ කම්කරු නීති, රෙගුලාසි සහ අදාළ ප්‍රමිතීන්ට අනුකූලව නීත්‍යානුකූල, සදාචාරාත්මක සහ විනිවිදභාවයෙන් යුත් ආකාරයෙන් ශ්‍රී ලාංකික වෘත්තිකයන් ජපානයේ රැකියා සඳහා බඳවා ගැනීම සහ යොමු කිරීම සඳහා දෙපාර්ශ්වය අතර සහයෝගීතාව සහ සම්බන්ධීකරණය වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
තොරතුරු තාක්ෂණ ඉංජිනේරු සේවා සහ රැකියා ස්ථානගත කිරීම පිළිබඳ විශේෂඥතාවක් ඇති METATECHNO INC. සමාගම, ජපානයේ ඉහළ යමින් පවතින දක්ෂ මානව සම්පත් අවශ්‍යතාව සපුරාලීම සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලාංකික වෘත්තිකයන් හඳුනාගෙන බඳවා ගැනීම හා රැකියා සඳහා යොමු කිරීමේ කටයුතුවලදී ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය සමඟ සමීපව කටයුතු කරනු ඇත. විශේෂයෙන් තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු සහ අනෙකුත් වෘත්තීය ක්ෂේත්‍රවල ශ්‍රී ලාංකිකයන් සඳහා නව රැකියා අවස්ථා රැසක් මෙම සහයෝගීතාව තුළින් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම අවබෝධතා ගිවිසුමට ජපානයේ METATECHNO INC. සමාගමේ සභාපති නකයාමා හිජිරි (Nakayama Hijiri) මහතා සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (පුද්ගලික) සමාගමේ සභාපති ආනන්දලාල් හෙට්ටිආරච්චි මහතා අත්සන් තැබූහ.
මෙම අවස්ථාවට LNBTI ආයතනයේ අධ්‍යක්ෂ රවීන්ද්‍ර පෙරේරා මහතා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ආයතනික කටයුතු) එල්. ඒ. පී. කේ. ලියනවල මහතා, ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු ආයතන දෙකේ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජපානය සමඟ පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලාංකික වෘත්තිකයන් සඳහා සුරක්ෂිත, නීත්‍යානුකූල සහ ගුණාත්මක විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගෙන යන වැඩපිළිවෙළේ තවත් වැදගත් පියවරක් ලෙස මෙම අවබෝධතා ගිවිසුම සැලකේ.