රටවල් 13ක් වෙත රැකියා සඳහා විදේශ ගතවීමේදී බලපාන නීතිය අද සිට

රටවල් 13ක් වෙත රැකියා සඳහා විදේශ ගතවීමේදී බලපාන නීතිය අද සිට

Published on July 01, 2025, 05:02 PM

ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා විදේශ ගතවීමේදී අදාළ ශ්‍රමිකයාගේ රැකියා ගිවිසුම අදාල රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය මගින් සහතික කිරීම අද සිට (ජූලි 01) ක්‍රියාත්මක වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මීට පෙර එනම් පසුගිය ජූනි මස 07 සිට මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණද, එය අද දක්වා කල් තැබිණි.

නව සංශෝධනයට අනුව සෞදි අරාබිය, කුවේටය, බහරේනය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන්, ඊශ්‍රායලය, ජෝර්දානය, ලෙබනනය, මාලදිවයින, මැලේසියාව, සිංගප්පූරුව හා දකුණු කොරියාව යන රටවල් 13 වෙත කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් යොමුවීමේදී කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම සඳහා තම සේවා ගිවිසුම එම රටවල පිහිටි ශ්‍රි ලංකා දූත මණ්ඩලවල පිහිටි කම්කරු හා සුභසාධන අංශ මගින් සහතික කරගත යුතු අතර, ඒ සඳහා ගාස්තුව වශයෙන් ඇමරිකානු ඩොලර් 60ක මුදලක් ගෙවිය යුතු වේ.

වෘත්තීය කාණ්ඩයේ රැකියා සඳහා නව සේවා ගිවිසුමක් සහිතව ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන වෘත්තිකයින් හට, කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමේදී ඔවුන්ගේ වෘත්තියභාවය සඳහන් විදේශ ගමන් බලපත්‍රය හෝ අදාළ රැකියාවේ වෘත්තීයභාවය සනාථ කළ හැකි ලියවිලි ඉදිරිපත් කිරීමට හැකි නම්, රැකියා ගිවිසුම ශ්‍රි ලංකා දූත මණ්ඩල කාර්යාලය මගින් සහතික කරගැනීම අවශ්‍ය නොවේ.

පසුගිය සමයේ මිනිස් ජාවාරම් හේතුවෙන් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් විදේශ රටවලදී විවිධ අපහසුතාවයන්ට ලක්වූ අතර, එම ගැටළුවලට පිළියමක් ලෙස ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් සුරක්ෂිතව විදේශ රැකියා සඳහා යොමුකිරීම අරමුණු කරගනිමින් මෙම තීරණයට කාර්යාංශය එළැඹී තිබේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post