අගමැතිනියගේ ආරක්ෂක නිලධාරීන්ගෙන් ප්‍රකාශ ගන්නැයි නියෝග

අගමැතිනියගේ ආරක්ෂක නිලධාරීන්ගෙන් ප්‍රකාශ ගන්නැයි නියෝග

Published on August 27, 2025, 07:34 PM

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මෙනවියගෙන් සහ ඇගේ ආරක්‍ෂාවට යොදවා සිටින නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය රහස් පොලීසියට අද (27දා) නියම කළාය.

අග්‍රාමාත්‍යවරියගෙන් හා ඇගේ ආරක්‍ෂක නිලධාරීන්ගේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අවශ්‍ය වුවහොත් කොළඹ ජාතික රෝහලේ සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්‍ෂා කිරීමට අවසරදීම පිළිබඳ සලකා බැලීමට හැකියාව ඇතැයිද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

පොදු දේපළ පනත යටතේ වන සිද්ධියකට අදාළව රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මෙණෙවිය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ගිය බවට සමාජ මාධ්‍යවල පළවූ පුවත සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කියමින් රහස් පොලීසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයක පැවති උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා පුද්ගලික සංචාරයකට ගොස් දවස් එකහමාරක කාලයක් සඳහා රුපියල් කෝටි 1 1/2කට අධික මුදලක් වැය කර රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ රිමාන්ඩ් භාරයට පත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාරයේදී රෝගී වීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරන ලදි.

ප්‍රතිකාර ලබමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මෙණෙවිය දැඩි සත්කාර ඒකකයට ගිය බවට සමාජ මාධ්‍යවල පුවතක් පළවු අතර එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයෙන් කළ පැමිණීල්ලකට අනුව රහස් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

එම විමර්ශනය පිළිබඳ අධිකරණයට දැනුම් දුන් රහස් පොලීසිය අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මෙණෙවිය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීම සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට පැමිණීයාද? යන්න නිශ්චන කර ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලේ සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්‍ෂා කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය අග්‍රාමාත්‍යවරියගෙන් හා ඇගේ ආරක්‍ෂක නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අවශ්‍ය වුවහොත් අදාළ ඉල්ලීම කරන ලෙස නියම කළාය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post