
Published on June 26, 2025, 06:51 PM
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රුපියල් ලක්ෂ 369 ක පුද්ගල ආදායම් බදු ගෙවීම පැහැර හැරියේ යැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට නිකුත්කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (26) නියෝග කළේය.
නීතිඥවරු මගින් අධිකරණයට ඉදිරිපත් වු සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නිකුත් කර තිබු වරෙන්තුව ආපසු කැඳවු මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂයක මුදල් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වටිනා ඇපකරුවන් සිව්දෙනෙකුගේ ශරීර ඇප මත ඔහු මුදා හැරීමටද නියෝග කළේය.
ආදායම් බදු නොගෙවා සිටීම සම්බන්ධයෙන් හේතු ඇත්නම් සැප්තැම්බර් 22 වැනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය.
2010, 2011 හා 2012 වර්ෂ වලට අදාළව ආදායම් බදු රුපියල් 36975959/-ක් නොගෙවීම් සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා 2023 වසරේදී වාස් ගුණවර්ධන මහතා වගඋත්තරකරු කරමින් පැවරූ නඩුව කැඳවු දින අධිකරණයේ පෙනී නොසිටීම හේතූවෙන් වරෙන්තු නිකුත් කර සිටි වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් ඔහුගේ නීතීඥවරු ගොනු කළ මෝෂමකට අනුව නඩුව කැඳවු අවස්ථාවේදී වාස් ගුණවර්ධන මහතා අධිකරණයට භාර වීමෙන් පසුව මෙසේ ඇප මත මුදා හැරීමට නියෝග කළේය.
වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා කරුණු දක්වමින් සිය සේවාදායකයට අධිකරණයෙන් සිතාසියක් නොලැබීම හේතූවෙන් ඔහු අධිකරණයට පැමිණ නැතැයි කීය.
සිතාසි නොලැබුණු අයකුට වරෙන්තු නිකුත් කර ඇති හෙයින් හා මාධ්‍ය මඟින් දැනගත් තොරතුරු වලට අනුව අධිකරණයේ පෙනී සිටින වගඋත්තරකරුට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවන්නැයි ඉල්ලා සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දක්වමින් වගඋත්තරකරුට දේශිය ආදායම් කොමසාරිස්වරයා 2023 වසරේදී මෙම නඩුව පැවරූ බවය. 2024 වසරේ ඡන්දහිමි නාම ලේඛණයේ සඳහන් පෞද්ගලික ලිපිනයකට සිතාසි නිකුත් කර එය අලවා බාර දීම කර ඇති බවත් පැවසීය.
එම අවස්ථාවේදීී නීතිඥ ජීවන්ත ජයතිලක මහතා කරුණු දක්වමින් සිය සේවාදායකයා අදාළ ලිපිනයේ පදිංචිව නොමැති බවත්, සිතාසි ලැබී නොමැති බවත් සඳහන් කළේය. වගඋත්තරකරුට මහාධිකරණය හමුවේ නඩු පවතින බවත් එම නඩුවලට නිසි පරිදි පෙනී සිටින බවත් නීතිඥවරයා පැවසීය.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුවට එරෙහිව වගඋත්තරකරු අභියාචනාධීකරණයට පෙත්සමක් ගොනුකර ඇති බැවින් නඩුව සම්බන්ධයෙන් ඔහුගේ දැනුවත් භාවයක් තිබී ඇතැයි පෙන්වා දුන්නේය.වගඋත්තරකාර සජින් වාස් ගුණවර්ධන මහතාට ඇප නියම කළ මහෙස්ත්‍රාත්වරයා බදු නොගෙවා සිටීමට හේතුව ඇත්නම් සැප්තැම්බර් 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.