
Published on June 26, 2025, 07:29 AM
ගැටලු හතරක් මුල් කර ගනිමින් අද( 26දා) උදේ 8.00 සිට පැය 48 ක කාලයක් අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමය සඳහන් කරයි.
පවතින ගැටලු විසඳා ගැනීමට බලධාරින් සමග පැවැත්වූ සියලුම සාකච්ඡා අසාර්ථක වීම නිසා අදාළ ගැටලු විසඳන ලෙස ඉල්ලා අද (26 දා) සහ හෙට (27දා) යන දින දෙකේ සේවයෙන් ඉවත්ව සිටිමේ වෘත්තිය ක්‍රියා මාර්ග සිදුකරන බවද පෙන්වා දෙයි.
මෙම වැඩ වර්ජනය විද්‍යාපීඨ විස්සෙහිද, ගුරු විද්‍යාල අට හා ගුරු මධ්‍යස්ථාන එකසිය දොළහේද සිදුකරන බව එම සංගමය පෙන්වා දෙයි.
පසුගිය මැයි 24 දින අග්‍රාමාත්‍යවරිය හමු වී ගුරු සේවාවේ නිලධාරින් මුහුණ දෙන වැටුප් විෂමතාව ඇතුළු බරපතළ ගැටලු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කළ බවත්, එහිදී එම ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කර සති දෙකක් තුළ නැවත සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බවට අග්‍රාමාත්‍යවරිය පොරොන්දු වූ බවත් සංගමය පෙන්වා දෙයි.
එහිදී සාකච්ඡා වූ නිර්බාධ උසස්වීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡා කිරීමට මේ මස 02 වැනි දින යොදා ගත්තද වෘත්තීය සංගම් නියෝජිතයන් අදාළ ස්ථානයට පැමිණි පසු සාකච්ඡාව කල් දැමූ බවද පසු දිනයක එම සාකච්ඡා පැවැත්වූවත් එහිදී ලබා ගත් තීරණයක් පිළිබඳ සංගමය දැනුවත් නොකළ බවද සඳහන් කරයි.
දිගින් දිගටම මෙම සේවාවේ ප්‍රශ්න විසඳීම පිළිබඳව මැදිහත් වීමට නිලධාරීන් දක්වන උදාසීනත්වය නිසා අදාළ ගැටලු මුල්කර ගනිමින් දෙදින වැඩ වර්ජනයක් සිදුකිරීමට තීරණය කළ බවද සංගමය පෙන්වා දෙයි.
මේ අනුව ගුරු අධ්‍යාපනඥ සේවයේ වැටුප් විෂමතාව විසඳීමට ක්‍රියා නොකිරීම, නිර්බාධ උසස්වීම් ක්‍රමය ලබා නොදීම, විෂමතාව විසඳන තෙක් අන්තර්කාලීන දීමනාවක් ලබා නොදීම සහ මේ වන විට ගුරු විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සකස් කර ඇති පනත් කෙටුම්පත පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකරන බවද සඳහන් කරයි.