
Published on June 26, 2025, 08:21 AM
ජනාධීපති පොදු සමාව අවභාවිතා කර ඇති බන්ධනගාර දෙපාර්තමේන්තුව සාමාන්‍ය සිරකරුවන් පමණක් නොව මිනීමැරුම් චෝදනා ලැබ වරදකරුවන් පවා නිදහස් කර යවා ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් සුහර්ශී හේරත් මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මියටූ ඊයේ(25) දැනුම් දුන්නාය.
හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සම්බන්ධයෙන් කරන්නේ එක් සැකකරුවෙකු නිදහස් කිරීමේ විමර්ශනයක් නොව එවැනි බරපතළ චෝදනාවන්ට ලක්වී වරදකරුවන් රැසක් නිදහස් කිරීමේ පුළුල් විමර්ශනයක් බවද සුහර්ශී හේරත් මහත්මිය සඳහන් කළාය.
බන්ධනාගාරගතව සිටියදී පවා සාක්ෂි වලට බලපෑම් කර ඇති සැකකරු තවදුරටත් රිමාන්ඩ් කරන ලෙසත්, සැකකරු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ පරිසරයට ආසන්නව ඇති වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තිබීම සාක්ෂි වලට බලපෑම් සිදුවිය හැකි බැවින් වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවීමට නියෝග කරන ලෙසද හේරත් මහත්මිය ඉල්ලා සිටියාය.
ජනාධිපති පොදු සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවකු ඇතුළු සිරකරුවන් 68 දෙනකු නිදහස් කර යවන ලදැයි කියන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියට එරෙහි විමර්ශනය කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මේ බව දැනුම් දුන්නාය.
වැඩතහනමට ලක්ව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ශී හේරත් මහත්මිය මෙසේ ද සඳහන් කළාය.
මෙම සිද්ධියේදී මූලික වශයෙන් කරුණු ඉදිරිපත් වුයේ සහ විමර්ශන් ආරම්භ කළේ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු වන විජයකෝන් මුදියාන්සේලාගේ අතුල තිලකරත්න නමැත්තා අනීතිකව නිදහස් කිරීම සම්බන්ධයෙන් වූ කාරණාවක් මුල් කරගෙනයි. නමුත් මේ වන විට මේ සිද්ධිය පුළුල්ව පැතිර ගිහින්. ජනාධිපති පොදු සමාවට මුවාවෙලා මේ ආකාරයෙන් තවත් සැකකරුවන් විශාල ප්‍රමාණයක් මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශන කරනවා.
මේක ඒ තරමටම පුළුල් විමර්ශනයක්, පසුගිය වෙසක් පුන් පොහෝ දින ජනාධිපති සමාව යටතේ නිදහස ලැබුවේ යැයි සඳහන් කරමින් මුදාහල පුද්ගලයාගේ ක්‍රියා කලාපය සාධාරණීකරණය කිරීම සඳහා මෙම සැකකරු විසින් ලේඛණ සකස් කර ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වෙලා තියෙනවා.
සැකකරු ජුනි 06 වැනිදා අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරියට මේ නිදහස් කිරීම සම්බන්ධයෙන් ලිපියක් යවනවා. ඒ ලිපිය එවන්න කියලා කරුණු විමසූ කෙනෙක් නැහැ. ඒ ලිපියේ මාතෘකාව ලෙස ජාතික පුවත්පතක පළවූ ප්‍රවෘත්තිය, අමාත්‍යාංශ ලේකම්වරියට යවන මෙම ලිපියට අමුණනවා. ඊට අමතරව අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාගේ ලිපියකුත් අමුණනවා.
එතකොට මේ බන්ධනාගාර අධිකාරීවරයා ලිපිය ඒවල තියෙන්නෙත් ජුනි 06 වැනිදා. අනුරාධපුරයෙන් එවපු ලිපිය කොළඹට ලැබුනා කියල හෝ ෆැක්ස් මඟින් ලැබුණා කියලා හෝ රාජ්‍ය ලේඛනයක් කියලා හෝ කිසිදු සටහනක් හෝ නිල මුද්‍රාවකුත් නැහැ. රජයේ ආයතනයකට ලිපියක් ලැබෙනවා නම් ඊට ක්‍රියා පිළිවෙතක් තියෙනවා.
පැමිණිල්ල ස්ථාවරය තමයි මේ ලිපිය සැකකරු විසින් නිර්මාණය කරපු එකක්. සැකකරු තමන් කරපු දේ සාධාරණීකරණය කරන්න මෙහෙම ලිපි හදන්න පුලුවන්නම්. මේ පුළුල් විමර්ශනයේදී ඇප ලැබුණහොත් මොහුට අනික් සාක්ෂි වලට බලපෑම් කරන්නත් අවස්ථාව තියෙනවා. මේ විමර්ශනය කරන්නේ එක් පුද්ගලයෙක් බන්ධනාගාරයෙන් මුදා හැරීම ගැන නෙවෙයි. සිරකරුවන් රාශියක් ජනාධිපති පොදු සමාවට මුවාවෙලා මුදා හැරලා තියෙනවා.
සිරකරුවන් නිදහස් කළා කියන්න බන්ධනාගාරයේ ඇතුලේ කිසිදු ලේඛනයක් නැහැ. හැබැයි බන්ධනාගාර දොරටුවේ තිබෙන ලේඛනවල හිස් ගෙඩි ටිකක් එලියට ගියා කියලා සටහන් තිබෙනවා. බන්ධනාගාර ලැයිස්තුවල, පොදු සමා ලැයිස්තුවල, නැතුව මෙහෙම සිරකාරයෝ එළියට දාන්න පුලුවන්ද? තමන්ගේ ක්‍රියාවක් සාධාරණීකරණය කරන්න මෙහෙම ලේඛණ හදන්න පුළුවන් නම් අනිත් බන්ධනාගාර වලට මොහුට කොහොම බලපෑම් කරන්න පුළුවන්ද? පැමිණිල්ලේ ස්ථාවරය එයයි ස්වාමීනි, එම නිසා මොහු සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාධාරණ කාලයක් අවශ්‍යයි. මොහු මුදා හැරියහොත් මේ වගේ පුදුම සහගත ලේඛණ තවත් එළියට එන්න පුළුවන්.
මේ තත්ත්වය වඩාත් හොඳට පැහැදිලි කරනවානම් ස්වාමීනි. මරණ දඬුවම නියම වූ සිරකරුවන් පවා එළියට ගිහිල්ල තියෙනවා කියලා විමර්ශනවලින් අනාවරණය වෙලා තියෙනවා. අද සැකකරුට පෙනී ඉන්න උගත් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නකොට පෙනී සිටි එක් විත්තිකාරියකට මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කරනවා .ඒ තමයි මිල්රෝයි ප්‍රනාන්දු මහතාගේ බිරිඳ. ඇයත් එළියට ගිහිල්ලා. මිනිමැරම් චෝදනාවකට වරදකාරිය වු විත්තිකාරියක් කොහොමද එලියට යන්නේ?.
ඒක කිසිසේත් වෙන්න බෑ .ඒ වගේ සුවිශේෂී තැන් විමර්ශනය කිරීමට විමර්ශන නිලධාරීන්ට අවස්ථාව ලබා දිය යුතුයි."